Wednesday, December 19, 2012

පෙර පාසල.................



සිලි සිලියේ හිනැහි හිනැහි
දැවටුණු මගේ පොඩි එකීගේ
සමනල් හිත ගැටගහලා
පාට පාට රූප ඇදපු
බිත්ති අතර තනි කරලා
දුක් විදින්න ඉඩ ඇරලා
මං ආවා 
මහ වැස්සේ තෙමීගෙනම 
පාර පුරාම අහුරලා හිටි 
මීදුමටම තුරුළුවෙවී
කකියන හිත පොළවේ වැදී
බිංදු බිංදු 
විසිරෙන්නට හැර.......

විසල්.....

විසල් දෑගිලි අතර

සිහින් ඇගිලි තෙරපී තෙරපී

ඉසිඹුවක් මතින් තවත් ඉසිඹුවක

සුවදින් සුවද විදිනා

ආදරයේ හෝරා ගෙවුනා....




Thursday, November 15, 2012

ඔල්මාදය...


ඔයා විසින් අන්තර්ජාල පිටුවේ සිංදුවක් අමුණලා තිබුණා.හැමදේම හරියාවි කියලා.

අපි කොයිතරම් ඈතයිද..ළං වෙන්න හිතන්න බැරිතරම් ඈතයි...මං අඬන්න ඕනද? ඉකි ගගහා අඬන්න ඕනද...



මේ අහන්න අර හඳ ලස්සනට පායනවා.මාසයක් පුරා එයාගේ පාඩුවේ හැඩවෙනවා...කී දාහක් එයාලව නිකමටවත් ගණන් ගන්නේ නැතිව ලස්සනට පායන හඳට කොයිතරම් ආදරේද? එයාලගේ කවි වලට සිංදු වලට ඒ හඳ කොයිතරම් ප්‍රතිචාර නොදක්වා හිටියත් ඒකෙන් එයාලට කොයිතරම් රිදුනත් ඒ හඳට තව තවත් ආදරෙන් ලියනවා... ඒ හ‍‍දේ දීප්තියට වශී වෙලාද?


ඔයත් හඳක් වගේ නිහඬවම ඉන්න.


මොනාලිසා වුණත් කතා කරන්න පටන් ගත්තා නම් මිනිස්සු එයාට ආදරය කරන එක නතර කරනවා.මනුෂ්‍ය  ස්වභාවය ඒ නිහඬ බවට දීලා තියෙන්නේ ආකර්ශණ නියමය ඉහළින්ම ක්‍රියාත්මක වන බලයක්...

අනේ මන්දා..මං බලාගෙන ඉද්දි මට ඔයාව එපා වෙන්න ගන්නවා...ඔයා හිනාවෙද්දි මට අහක බලන්න හිතෙනවා.මං අහක බලනවා ඔයා දකිනවා.


"මං හිනාවෙන්න එපා ද? ඔයා ආස මං හිනා නොවී ඉන්නවට නම් මං කවදාවත් හිනා වෙන් නෑ."


ඔයා ඇහුවට ඒක ඇහුණ බවක් වත් මං ඇඟෙව්වේ නැහැ.මගේ ආඩම්බර කම ඇතුලේ ඔයා දියවෙනවා...අවකාශයේදී මට ඔයාව හොයාගන්න බැරිව යනවා.


"මං කවුද?" ඔයාගෙන්ම අහනවා.

"ඔයාට මං කවුද?" ඔයා මගෙන් අහනවා.

උත්තරයක් නෑ.තැවෙන ඔයා දකිද්දි මට මැරෙන්න හිතෙනවා...එත් මරණය.අපට මැරෙන්න පුළුවන්ද? මගේ සංස්කෘතික ආගමික ඔළුව මාව නවත්තනවා.අම්මා තාත්තා ගැන හිතනවා.පව් සිද්ධ වෙයි කියලා හිතෙනවා.ස්වාධින වෙන්න උත්සහ කරාට කරන්න පුළුවන් වෙලාද? ඒ වෙනුවට වෙලා තියෙන්නේ මිශ්‍රණයක් හැදිලා තියෙන එක විතරයි...


මගෙන් අතරමං වෙන ඔයා ඔල්මාදකාරයෙක් වෙනවා...මම මුල ඉදලා මාව හොයන්න පටන් ගන්නවා...ආයෙමත් මුල ඉඳ‍ලම වෙන තැනකින් පටන් ගන්නවා... 

1. හිතේ තියාගෙන ඉන්නවා.නැගිටිනවා.කනවා.බොනවා.
2.කතා කරන කම් බලාගෙන ඉන්නවා.
3.කතා කරනවා.
4.ආයෙමත් අතරමං කරනවා.
5.මුල ඉදන් හොයනවා.


Friday, September 14, 2012

වළාකුළ




එන්නෙත් ඔහුට ඕනෑ
වෙලාවටය
යන්නෙත් ඔහුට ඕනෑ
වෙලාවටය
එක එක හැඩ වලින්
අදුර ගන්නත් බෑ වෙලාවකට...
මං කතා කෙරුවට
ගනන් ගන්නෙත් නෑ මාව...
අනේ මන්දා
මග බලන් ඉදලාම
මගේ නිකට ගෙවිලා...
දික්වෙලා බෙල්ලත්....

Sunday, September 9, 2012

ප්‍රේමයේ නිර්වාණය

විඳින්න බැරි උණුහුමක් යට මගේ ප්‍රේමය වාෂ්ප වෙලා යනවා..... දුර ඈත කදු සිය ගණනක් එහා නිම්නවල පැතුම් මල් පිපෙනවා... මට   දැනෙනවා.... මීදුම වටටම පැතිරෙද්දි  සමිතාගේ සිංදුවක් මට ඇහෙන්න පටන් ගත්තා...මේ තරම් ලස්සනක් ජීවිතයේ තියෙනවද... ජීවිතයම නෙවෙයි වුණත් අනිවාර්ය ලස්සන කාලයක් හැමෝටම ඇති..



                                                        ‘‘සීතල ගෙනා පවනේ වෙලී 
                                                           සේලේ පියා සලනවා....
                                                   සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
                                                 ප්‍රේමණීය කල්පනා මා ළයේ මවා...
                                                            මා බද වටා එතෙනා ඔබේ
                                                           පහසේ නුරා නිවෙනවා....‘‘ 


ඇත්තටම මට ඕන නැහැ නොපවතින මාව
පැවැත්ම කරගන්න.ඒත් හැමවෙලාවකම
ප්‍රාර්ථනාවකට බලාපොරොත්තුවකට එකතු වෙන්නේ 
නොපවතින දෙයක්නේ. ඔයා මට එහෙමයි!
මං අනාගත ආකහේ ප්‍රාර්ථනා තරු අමුණනවා.
ඒ තරුවල උණුහුමට හිත පිච්චෙනවා....
මං පුච්චගන්නවා...ඒක පුදුමාකාර විදියට බොවුණු වීර ක්‍රියාවක්....

 අපි කාලයට මුහුණපාලා හුස්ම ගන්නවා..අපිට අවශ්‍ය නැති මොහොතින් මොහොත ගෙවන්න සිද්ධ වෙලා..හරිම ඉවසීමෙන් මං ඔයාගේ හුස්මෙ මාන බලනවා... ඒත් ඒ හුස්මෙ තියෙන්නේ හුස්ම ගැනීම පිටකිරීම නෙවෙයි....ඔයා සහ මම කියන එක..මම ඇතුළු වෙද්දි ඔයා පිටවෙනවා..ඒ කියන්නේ මම මතක් වෙද්දි ඔයා අමතක කරනවා...නැතිනම් ඔයාගේ හුස්ම ඇතුලේ මං ඔයාව මුණ ගැහෙන්න ගියොත් ඒක වෙන්නේ නැති දෙයක් නිසා දැනෙන මරණිය වේදනාවෙන් මැරෙන්න ඔයා හිත හදාගන්න ඕන... 


දන්නේ නැහැ..කවදහරි අමුණපු තරු එකින් එක කඩා වැටෙයිද කියලා.... ඒත් ඒ තරු දිලිසෙනවා බලා ගෙන ඉදිද්දි දැනෙන නිවීම..... 


Sunday, August 26, 2012

ගිම්හානය....






වළාකුලක් නැති
අහසක
තරුවක් නැති
කලුවරක
වැරීමි
සළු!


Thursday, August 23, 2012

අහෝ! මා දුර්වල වන එකම තැන..



දේශපාලනය-සාහිත්‍යයය-තාක්ෂණය
ඒ ඔබේ වචන නිතරම කතා කරන
දිගුදෙතොල් හරහා ඇදෙන
සුළං දහර ඝනය.. උණුසුම්ය..
අහෝ! මා දුර්වල වන එකම තැන
ඔබට ඇති මගේ ආදරය..


පෙරදිත් පුරුදු කතාමැයි
නමුත් ඒ හම අබියස දෙදණ නමා
ආරෝපණය කෙරෙන දෙසවන්මැයි
‍නුඹේ සම්ප්‍රාප්තිය වටා දැවටෙන්නට
අර අදින මගේ කාලය..
අහා!!මා උණුසුම් වන එකම තැන
ඔබට ඇති මගේ ආදරය..



˝බැ‍ඳෙන්නට එපා මවෙත
ඔබ ඵල දරන මල් දරණ
පරිපූර්ණ ස්වාධීන ගසක්˝
උණුසුම් කඩවසම් මුත්
හදවත ඉරිතලා ඇදී යන දෘඩවදන්
දෑස් අර්ථයම පසක් කොට හැඟුම් පුරමින්
අහෝ! මා දුර්වල වන එකම තැන
ඔබට ඇති මගේ ආදරය..




Wednesday, June 20, 2012

අපි ආයෙත් හමුවුණා....


අපි ආයෙත් හමුවුණා..තරු පිරුණු අහසක් යටදිත් නෙවෙයි..හීනි හුලගක් හමන සැදෑවකදිත් නෙවෙයි..ඒ වගේ හැගීමක් වත් දැනෙන තැනකදිත් නෙවෙයි...පිණි වෑහෙන උදෑසනකදිත් නෙවෙයි...

ඔයාව තල්ලු කරන් මිනිස්සු ඇදෙනවා..මට පාර පනින්න බැහැ එක පෝලිමට වාහන යනවා..වැඩි වෙලාවක් ඉතිරි වෙලත් නැහැ...යන්න හදිස්සියි වැඩ තියෙනවා.. ඒත් ඈතින් බොද වෙලා පෙනුණු රූපේ අදුර ගන්න බැරි කමක් අපි දෙන්නටම තිබුණෙ නැහැ...ඔයාගේ අතේ බර මල්ලක් තිබුණා....ඊට වඩා බර උරහිසක් ඔයාට තිබුණා..

" ලස්සනයි ඔයා"
"එකපාරටම?"
"හැමදාමත්ම"
"හැමෝම මෙතන පහුකර කර යද්දි තාමත් ඔයා ලස්සනයි කිය කිය මෙතන"

"මුල් වරට මට එහෙම හිතෙනකොටමත් මට ඔයා අහිමි හිමි වෙලයි තිබුණෙ" ඒ කියන්නේ අහිමි නිසා ද ඔයා රැදිලා ඉන්නේ..අපි හැමෝම අහිමි තැන්වලද රැදෙන්න හදන්නේ....මම ඈතට ගියා..

"කියන්න කොහෙදිද ඔයාට මාව හමු වුණේ.. කොහෙදිද ඔයාට මගේ ලස්සන පෙනුණෙ..පුදුමයි මම ලස්සනයිලු...."


අපි ආයෙමත් අපේ ඇගේ හැප්පෙන අයට ඉඩ දෙන්න උත්සහ කරමින් කතාවට කෙළවරක් හෙව්වා.....


"මට බාගයක් ඕන...ගෝල්ඩ්ලීප් පහකුත් එක්ක" එයා කෑගහනවා. මට ඇහෙන් නෑ.





"මට පිපිරෙන්න ඕන..." මං හයියෙන් හුස්ම ගත්තා..“බාගෙන් කාලකුත් ඕන...පහෙන් දෙකකුත් ඕන....“









"ඔයා මහා බ්‍රහ්මයාද?" මූණට හම්බෙන හැමකෙනෙක්ගෙන්ම අහන්න වටින ප්‍රශ්නයක් මං එයාගෙන් ඇහුවා...

"වෙන්නේ නෑනේ.. ඇයි?"

"කියලා අලුතින් මවා ගන්න..."
"මොකද්ද?"
"ප්‍රේමය..
.."

ඔයා ගල්වෙලා මගේ මූණ බලාගෙන..ම‍ගේ අතින් අමුතූ වචනයක් කියවුණා...අපි දෙන්නම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා.....මට හරී අපහසුතාවක් දැනුණ නිසා මං හදිසියේ යමක් මතක් කලා...

"මට..මට සූකිරි ඕන..ඔව් සූකිරි ඕන" මට හදිස්සියෙම ඕන වුණා සූකිරි...
"ඉතිං මං ආදරෙයි" මට සූකිරි ඕන වීම එයාගේ ලෝකෙන් එහා දෙයක් වගේ...
"මට ඕන නෑ." මං සූකිරි ටික පාරට විසි කරලා දැම්මා..එවා රෝද වලට අහුවුණාද කොහෙද....

"හහ්...මට තව වැඩි කාලයක් නෑ.මැරෙයි"

"සතුටුයි!"

"ඇයි"

"මැරෙන බව දැනෙනවනේ..මැරුණු අය දන්නෙත් නෑ මැරිලා බව.."මං හිතුවේ බොද වෙලා තිබුණ රූපේ නොපෙනීම යයි කියලා..ඒක එහෙම වෙන් නෑ..දැවටි දැවටි එයත් එහෙමම ඉන්නවා....

"මවා ගන්න ඕන කියපු ඒවා හම්බෙයිද?"
"‍හම්බවුණොත් හොදයි"
"එහෙනම් මං පරාදවෙයි"
"ඔව්"
"විශ්වාසයිද? කොළරා කාලේ ඉවරවෙනතුරු මම ඉන්නවා"

මට ලියන්න සත පහක වෙලාවක් ඉතිරි වෙලා නැහැ.මේ හදිසි ජීවිත ගමන දුවන්නම වෙලා..ඒත් අහසේ තියෙන කලුපාට වළාකුළු බරවෙලා පහලට වැටෙද්දි අලුත් වළාකුලකට ඉඩක් හැදෙනවා.දැන් කොළරා කාලෙත් ඉවර වෙලා බොහොම කාලයකුත් ගෙවිලා ගිහින්.තාමත් මේ පාරෙ මිනිස්සු කලබලෙන් එහාටයි මෙහාටයි දුවනවා..පාර පනින්න මිනිස්සු බලාගෙන ඉන්නවා..බොද වුණු රූප හැමතැනම තියෙනවා..

Sunday, June 3, 2012

කිසිවෙකුත් නොදන්නා රාත්‍රියක



මග බලා හිදිමි 
වැළද ගන්නට 
උණුහුම සරසන

සංසාර හාද්ද .....


ගෙල බදා මිරිකී
කෙහෙරැල් මතින් 

දගකර දෑගිලි
ලොල්වී මත්වී......

කාලය යනෙන තෙක්
එන නිවාඩුව නුඹ අරන් එන තෙක්

දෑස් විදා බලා හිදිමි 
දෑස් පියා විදින්න
නුඹෙ හාදු වැස්ස......





කිසිවෙකුත් නොදන්නා රාත්‍රියක
දුරින් දුර අවකාශයක
අසෙලියා පිපි මාවතක
හෙමි  හෙමි න් ගෙන දෑත නුඹ වෙත
ජීවිතය ගෙත්තම් කලා රන් මුදුවක.....



සද එළිය හොරෙන් විත්
නිසංසල ආශිංසනයක
මත්වෙලා නුඹ නමට
සැබෑවක් නැහැ දකින්නට
හීනයක් නිදනවා නොදන්වා කෙළවරක....



Saturday, June 2, 2012

සියක් හාදු මෝසමකින්

හදිසියේ වට මෝසමට පසු
හුදකලා අහසක ප්‍රේමය ඇතිරී
තරුමල් වරමින් ගැබ්බර වී සද 
ඉවුර කෙළවර අහුරන හීනෙට
මත් වූ ගංදිය මුමුණන ගීයෙන්
මුසපත් තුරුපත් සැලෙයි සිප
අතරමංව ගැටි ගැටී යන දග සුළග...

සැරසී සැරසී පැහැයෙන් පැහැය
මේ ගංතෙර
ගොතන පාලුව
නුඹ පැමිණේවි යයි
මග බලා හිදියි

පහව යන්නට.....




ප්‍රේමණීයයාණෙනි
උන් දග දමාපුදෙන්
සියලු උණුසුම් කැටිකොට මා ළගයි
නුඹෙ තැවෙන සිත් හී වේදනා
දවා හරින්නට සියක් හාදු මෝසමකින්
පියාඹා එමි ප්‍රේමයේ පියාපත් මතින්
ගුලිවෙන්නට මිරිකෙමින් නුඹෙ දෑත් අතරට......







Monday, April 9, 2012

නැවතුන තැනක අමුත්තෙක් ,Stranger...

කවුළු දාර අතරින්
ආකර්ශණය කෙරෙන
සුළගක් හඹා යන
ඉවසන්නට නිනව් නැති හිතක්
නැවතිලා වැව් ඉවුරක....
නැවතුන තැනක අමුත්තෙක් ,Stranger...


Gregory ඔහොම ‍ටිකකට නවතින්න...
මම ‍ග්‍රෙගරි නෙවෙයි..නැහැ ඔයා ග්‍රෙගරි තමයි... මට දැනගන්න ඕන නැහැ වෙන නම්...මේ වැව ග්‍රෙගරි නම් වැව ළගදි මුණගැහුණු ඔයත්ග්‍රෙගරි තමයි...




ඇත්තද....ලස්සන වචන ගෙත්තමක් Stranger.ඔයාට පේනවද අර අතන තියෙන බංකුව.. මං මේ ඉවුර අයිනෙන් ඇවිදගෙන ආවේ එතන ටිකක් ඉදගෙන අර ඈතින් මාව අත්ඇරලා පාවෙලා යන වළාකුළු එක්ක කතා කරන්න....ඉවුර අයිනේ ඇවිදගෙන එන ටිකට ඔයාගේ අලුත් තද නිල්පාට 6715 අංක දරණ මරුටි සුසුකි වාහනේ නවත්ත නවත්ත මං පස්සෙන් එන්න කොයිතරම් කරදර වුණා ද... දැන් වත් නිදහස් වෙන්න ඔන්න මං පාක් එක ඇතුලට යනවා....


පොඩ්ඩක් ඉන්නවද...


බැහැ කොහෙත්ම බැහැ..දැනටමත් මම ප්‍රමාදයි....


-නිල්පාට තණ පියලි හුස්ම ගන්න නිසා හුස්මක බරක් වත් දැනෙන්නේ නැති තරම්...අයිස් වෙලා නැතත් වතුරත් මිදිලා තියෙනවා වගේ දැනෙන සීතල හුළගක පහසක්....-


මිස්  අතන ඉන්න මහත්තයා වාහනේ ගන්නේ නැහැ මිස් එළියට එන්න කියනවා...


කවුද...


මිස් පිටිපස්ස බලන්නකෝ...මිස්ට කෙලින්ම උඩින් පාරෙ පාලම උඩ අත්දෙක තියාගෙන ඉන්නවා මේ පැත්ත බලාගෙන.....


ආ...  ඒ Stranger...එයාට එහෙම ඉන්න දෙන්න..මටත් කරන්න දෙයක් නැහැ...


මිස් එයා වා‍හනේ ගන්නෙ නැති වුණාම මෙතනට එන අනිත් වාහන බ්ලොක් වෙනවා....


සමාවෙන්න..මම එයාව දන්නෙ නැහැ..මට කරන්න දෙයක් නැහැ.. එයා එතන ඉන්නවනම් ඉන්න දෙන්න.. මටත් මෙතන ඉන්න දෙන්න...


-එයා අමුත්තෙක්..Gregory වැවක්...පාක් එකේ සිකියුරිටි හරියට මේ තණ පියල්ල වගේ-


වළාකුළු හරිම අකීකරුයි...වෙලාව යනවා දැනුනෙත් නැහැ..ඉර බැහැගෙන යන්න කලින් එන අලුපාටට බය නිසාමත්...ඊට පස්සේ එන සීතලට ඊටත් වඩා බය නිසාමත් දන්නෙම නැතුව බංකුවෙන් නැගිටගෙන ආයෙමත් පාර දිගේ ඇවිදන් යන්න ගත්තා..


Stranger,කොහේදෝ ඉදන් ආයෙමත්... Gregory අඩිය ඉක්මන් කරලා ඇවිදන්  ආපු බස් එකකට නැග ගත්තා...




Gregory ගෙදර ළගින් බැස්සා... හතර වටින් කලුවරයි.බස් එකේදි නිල්පාට මරුටි රථය පස්සෙන් එනවා දැක්කත් දැන්නම් වට පිට බලන්නත් බයයි...


ගේ ඇතුලේ පහන් දල්වලා... සීතලත් ගිහින්...


ඒත් Stranger,කෑම කද්දි Gregoryගේ ඉස්සරහ පුටුවේ..ටීවි බලද්දි ටීවි එකේ... කුස්සියට යද්දි අම්මත් එක්ක කතාවක..අම්මා අහනවා ඇයි Gregory කතා කරන්නේ නැත්තේ කියලා..එළියට ආවාම එයා මල් පාත්ති සුද්ද කරනවා...


Gregory තාමත් වැව ළග..

Tuesday, March 27, 2012

ගැහැණියක් මත මිනිසෙක්





මහා දවාලක වළා ගෙත්තම් කල අහසක්
චුම්බනය කොට දෙනෙත් 
වෙරළ හැර යන රළ සමග
ගෙනයන්නට තතනයි මතකය කලෙක


‍රාත්‍රිය නිදි වරා ඇමුණු තරු තැන තැන
වසගයට ගෙන මගේ නින්ද
නිවී දිලෙන මොහොතක අවකාශයක්
පැහැරගෙන ‍කඩා වැටුණු මා තරුව 

ගැහැණියක් අත මධු බදුනක්
මුහුදක් මත ගිනියම් තරුවක්
අවකාශයක් මත මහා සුළගක්
ප්‍රේමයක් මත මහා මිනිසෙක්

කුවේණිය මට මතක් විණි
මධු බදුන් නා සැරසුණි
තොවිල් බෙර දවුල් බෙර වැයුණි
යකින්නියකට අණ ලැබිණි


මේ තරු උගුල්ලා ඇත්ත දැනගන්නට
මේ වළා ගුලිකර අහස අල්ලන්නට







Saturday, February 11, 2012

මල් පෙති තැන තැන පිපී...



වළාකුලක්!
පාවෙලා යනවාවාවාවාවාවා ඈඈඈතට...එපා එපා එපා!

ඔ‍හොම නවතින්න..කෝ මං දැක්කම ඔය මූණේ ඇදුනු හිනාව.දැන් ඒ හිනාව ඇදෙන්නේ මොබයිල් ස්ක්‍රීන් එක දැක්කමද...ආහ් ආහ් ආහ්.....................මගේ ඔලුව...මං කැරකෙනවද ලෝකේ මගේ වටේ කැරකෙනවද..මං ඔයා වටේ කැරකෙනවද...නැත්තං මං මගේ වටේ කැරකි කැරකි ඔයා වටේ කැරකෙනවද..


මට නිදහසේ ඉන්න ඕන..ඇවිත් ඔයාව ‍මගෙන් අරන් යන්න.ඇයි අදුනන්නේ නැහැ වගේ යන්නේ..ඔහොම පොඩ්ඩක් ඉන්න..ඇයි ඔයාට මතක නැද්ද..ආදරෙයි කියලා අල්ල පුරා ලියපු හැටි.එදා ඉදලා මගේ අල්ලෙ රේඛා වෙනස් වුණා...මේ බලන්න ඒවා තවමත් නලියනවා..

ඈඈඈ මොකද්ද...දුර වැඩියි මට ඇහෙන් න්නෑ...


වළාකුල ඔයා පැතිරෙන්නේ අ‍හ‍සේ තමයි..හුළග මට අයිති නැහැ.


මට තටු ඕනේ නැහැ..ඔයා අහසේ ඉන්න ලස්සනට...මට ඒ ලස්සන බල බල ඉන්න..
.මම හොදයි..එත් ඔයා‍ මගේ ඇතුලේ ගැටගහපු නහර තමයි රිදෙන්නේ....

අර බලන්න අර තරුව..ඒක ඔයා දිහා බලාගෙන ඉන්නවා..එයා නිසා නේද ඔයා සද්ද නැත්තේ..හොරා....හොරා හොරා...ඒත් ඔයා වෙනදා වගේ නෙවෙයි..අද වෙනස සදාකාලිකයි වගේ...එහෙනම් ඔයා යන්න....ආලෝකය වෙතට...සංසාර උරුමය වෙතට...නිම්හිම් හොයාගෙන...

මා ඉතින් යන්න යනවා......මට අරන් යන්න ඇත්තේ ඔබේ නිහඩ බව විතරයි...හහ් හහ් හාහ්..මට පිට උගුරෙත් ගියා..ඌයි

ඔබට සුභ ගමන් වළාකුල‍‍ ..මේ මල් පෙති හැමදාම වළාකුළු හොයාගෙන අහස දිහාවට පිපේවි!

  “දේදුන්නක් ලොකුම ලොකු සුදුම සුදු වළාකුළක් උඩට නැගලා කකුල් දෙක පද්ද පද්ද සිරි නරඹද්දී ලිස්සා වැටී තැන තැන පිපී ඇත”

Saturday, January 14, 2012

හඳ ප්‍රේමයෙන් අහසේ ගිලිලා තිබුණා...


වළාකුලු දිගඇරෙන රාත්‍රියක තෙත බරිත වෙන්න -හංගන කතාවක් කියන්න දිලිසෙන ඇස් පොරකන හැටි -නලියන ඇස් පිහාටු ගොත ගැහෙන හැටි  ....................

මොහොතින් මොහොත ඇකිලී දිගහැරෙන මගේ හිත හුස්ම ගන්නේ ඒ ඡායාව මතකය..ඇත්තමයි ඒ මතකය හිතෙන් අහකට ඇදලා අරන් මුදාහරිනවා අවකාශයට ඔයාටයි මටයි අනාගතයක් නැත්තං.... අනාගතය ඔයාට විහිලුවක්...අනාගතය මට හීනයක්...
ගෑණු ළමයිට රෝසපාට වෙන්කරලා පිරිමි ළමයිට නිලා පාට වෙනු‍වුණේ ගැහැණියකගේ හිත හැමවෙලේම උණුහුම් නිසාත් පිරිමියෙකුගේ හිත හුගක් වෙලාවට ඝනකම නිසාවත්ද....

ඔන්න ඉතිං ඔයා හිනාවෙනවා...හහ්..මං අන් නැහැ...ඒත් නොදන්න මල් පිපුණු -හිරිඩු පිපෙන හුළක සී සී කඩ පිනි ඇහිරෙන- අහඹු උදෑසනක මගේ හිත වාෂ්පවෙලා හිරු එළියට විසිරිලා ඇදෙනවා....ඔයා දන්නෙවත් නැහැ මං අතරමං‍ වෙන තරමක්..


කලුවර හොයාගෙන ඇරෙන ජනෙල් කවුලුවෙන් අහස පුරා ම ඇරුණු දැනීමක් හොයද්දි කඩා වැටුණු තරුවක බර හෑල්ලු කරගෙන ඔයාගේ ඇමතුමක් ලැබෙනවා මගේ හිනයට.....සැහැල්ලුවෙන් වගේ පෙනෙන ගිනිගෙන කඩාවැටෙන ධූමකේතුවෙන් මැවෙන අහසේ ලස්සන ඒ අහසවත් දන්නේ නැතුව ඇති...කලු අහසක කොයිතරම් උල්කාපාත වැස්සත් හක් වෙන්න පුලුවන් එකම එක ග්‍රහලෝකයකට විතරයි.මුහුදු කොණින් බැහැලා යන්න පුලුවන් එකම එක ඉරකට විතරයි.

මතකද දවසක් අපි අහසේ ඉදන් හට තියෙන දුරයි මුහුදේ ඉදන් හඳට තියෙන දුරයි මැන්නා....ඒත් ඒ වෙනකොටත් හඳ ප්‍රේමයෙන් අහසේ ගිලිලා තිබුණා...

වහිනවනම් අලුම අලුපාටට මීදුමත් එක්ක..


ඇත්තමයි  මේ කොළඹ අහසට නම් පිස්සු......

පැයකට විතර කලින් හොදටම වැස්සා..මිනිස්සු කුඩ බදාගෙන ඉහලගෙන යන තරමට හුලග තිබුණා..ඒත් ඒ වගක්වත් නැතිව දැන් අහස නිල් පාට වීගෙන එනවා..නිල්පාට මැදදේ අලුපාට වලාකුලු..ඒ මදිවට ඉරත් බැහැගෙන යනවා..රාස්ස අව්වට අලුපාට වලාකුලු තැඹිලි පාටට විනිවිද යනවා.ඇත්තටම මේ කොළඹ අහසට පිස්සු.. .

මගේ සුදු අහස...පායනවනම් පායන්න නිල්ම නිල් පාටට..වහිනවනම් අලුම අලුපාටට මීදුමත් එක්ක...ඒත් හැබැයි එහෙම වුණොත් මට ඔයාව ඉක්මණට එපා වෙයි..ඒ නිසා නිල් පාටට වහින එකත් අලුපාටට පායන එකත් හොදයි....එහෙනම් පායයි..එහෙනම් වහියි..කියන බලාපොරොත්තු මේ මෙහොතේ නැත්තං ඊළග මොහොතේ ඉටුවෙයි කියලා හි‍තාගෙන ඒ අහසටම ප්‍රේම කරන්න පුලුවන් සදහටම.....

එත් මේ මොහොතේ ඔයා‍ගැන මම හිතන් නැහැ අහස...මම ලියන්නේ නැහැ..ඔය අහසේ පාවෙන වළාකුලු වලින් මට වැඩක් නැහැ...ගිම්හානයට පිපෙන නෙලුම් මල් වලින් මට වැඩක් නැහැ...ආයෙත් නම් මම ලියන්නෙ නැහැ...

පාවෙන වළාකුලක
වැටෙන වැහිබිංදුවක
අහුමුලුවලින් රිංගන අරුණැල්ලක
ප්‍රේමය දවටන්න සීරුවට............
ආයෙමත් දමලා ගහලා යන්න