Saturday, March 23, 2013

කවියෙකුගේ නවාතැන...




කලකට පෙර සුදු වෙන්නැති
කහපාටැති බිත්ති පුරා
වියලි ගිය කොළ කැබිලිති 
දරන් හිටියා
ඔහුගේ හදවත
කලු අකුරෙන් පේලි පේලි.....
මං එබුනම 
උලුවස්සෙන්
කවි සේරම 
එකම සැණින්
ඇහුවා මුරපදය මගෙන්
කවුදෑ මේ අලුත් එකී.....
උඩ යට බැලුවාම මමත්
එල්ලීගෙන ඔහුගේ අතේ
දැනුණා ඒ සුවද මටත් 
මං අකමැති 
ඒත් කැමති....
කට ගත්ත සැණින් කිව්වා මං
දුම්රොටු...
කවි සේරම හිනාවෙලා
ආයුවඩා
බිත්තිවලම නිදිගත්තා...
ඔහු නිදනා ඇසිල්ලකදි
ඇහැරෙව්වා මං 
එක කවියක්
අහ ගන්නට 
මුර පදේ කතාවත්...
ඔහු සිඹිනා සිගරට්ටුව
ඉගෙන ගෙනලු
මගේ රූපය
ඔහුගේ මතකයෙන්....
දැවී නැගෙන දුම්රොටු
ඇදී ඇදී ගොසින් අඳිමින්
මතකේ සිටින මගේ රූපේ
කවි හැමඑක්කටමත්
පෙන්නා තිබුණා....
ඔහුට දුන්නු හාදුවලින්
බාගෙකටත් වැඩියෙන්
කවිසේරටමත් දීලා
මං ආපහු ආවා....



අසරණ පෙම...


හද බිතම පහුරු ගා
ආයෙ ආයෙමත්
කියද්දී
මට ඇවැසි
නුඹමයි කියා...
අසරණ ප්‍රේමය
ගිනිඅරන්
වියලි දෙතොල්
මුසපත් කලා...
දරදඩු දෑතට මැදිවී
ඉන්නට හිතුවත්
මියෙන තුරා
රැයකට පසු
උදයක් එනවා
අපි අපේ නොවේ කියා...

Friday, March 22, 2013


කෙල්ලෙක්ව මලක් වගේ හදන්නේ ඇයි
බඹරුන්ට විෂ දල දෙනවනම්...
ඔහේ ඉන්න ඉඩ අරින්නේ ඇයි
ආදරේ ළගට ඕනේ නම්...