Wednesday, May 4, 2011

චමත්කා හෙවත් රෑ සමනලිය


චමත්කා හෙවත් රෑ සමනලිය



වසන්ත මාසේ ආදර වළාකුළක නැගලා එයා ආවා කණ ළගට ආදරේ මුමුණලා යන්න.කොටින්ම එයා මුමුණනන්නත් කලින් අර වළාකුළ කඩා වැටුණා.තෙමුණු අපි දෙන්නටම නියුමෝනියාව හැදුණා.ඒත් ආගන්තුක හුළගක් ගෙනාව විසේකාර කුණාටුවකට අහුවෙලා එයා අතුරුදහන් වුණා.කවදහරි දරුණු කුණාටුවක මධ්‍ය ගත වෙන බව එය  කියල තිබුණා වගේම ඒ කුණාටුවේ රුදුරු වේදනාවට කැමැත්තෙන් එයා හිටියේ.ඒත් මට තාමත් නියුමෝනියාව.මේ බලන්න මේ මුදැගිල්ලේ තියෙන මුද්ද ඒකෙ දිස්නෙ දෙන්න පටන් ගත්තේ වළාකුළ කඩාවැටුණු දවසේ ඉදලා.
ඔන්න ඇහෙනවද...ආයෙමත් මුමුණනවා ඇය.එක දිගටම තොරතෝංචියක් නැතිව.කොහේ හිටියත් කොහොම හිටියත් සැහැල්ලුවෙන් රෑ අහස දිහා බලාගෙන අහස් වි‍යනේ අවධානයට ලක් නොවුණ තරු එකින් එක සීරුවෙන් හොයද්දිත් ඉතා වේගයෙන් යන රථ වාහන අතරෙත් සමහරවිට සිග්නල් ලයිට්වල පාට ගලපා මාරුවීමට යන මග පැටලීමට ඉඩ තිබියදීත් නියුමෝනියාව හැර සුව වන අනෙකුත් රෝගවලට නිර්දේශකරගත් බෙහෙත් ගැනීමේදී මාත්‍රාව වැරදී  අසාත්මික වීමට ඉඩතිබියදීත් ඈ කියවන්නට වන්නීය.
මේ  කතාව අතරතුරදී ඕසෝන් ස්තරය හරිතාගාර වායු ආචරණය වීම නිසා විනාශයට පත්වන බව ඔබට තේරුම් යා හැකිය.හානි වූ ඕසෝන් ස්තරය හරහා ප්‍රමාණයට වඩා කාන්දුවන පාරජම්බුල කිරණ හානිදායක වන බවට ද තර්ක කල හැකිය.

ඔහු කුණාටුවකට හසුවුණු බව පැවසුවද ඔහු ගැන නොයෙක් මිථ්‍යා මත ඇත.වෙන්කරලා හඳුනාගන්න බැරිතරම් සමනලියන් වන්දනාවේ එන්න පටන් ගත්තම ඔහු නාය ගිය ලෙසත් මේ සමනලියන් මඟහැර එක සමනලියකට පමණක් සමනල කන්දක් වූ ලෙසත් විවිධ තොරතුරු ඇත.නමුදු තවදුරටත් මා ඔහු සොයමින් සිටිමි.චමත්කා කියන පරිදිම ඔහුගේ උරහිස යට උණුහුම මායා බන්ධනයක් වූවා විය හැක.
කලුපාට තාර ගිනිගන්නා පාර දිගේ හෙම්බත් මද්දහනක ඇවිදිද්දි මට හිතුණෙ මං මැරෙන්න නියම වෙලා පෝලිමේ ඉන්න කෙනෙක් කියලා.ලෝකෙ කොහේවත් මේ මොහොතේ මං ගැන කිසිම සලකුණක් නෑ.සඳහනක් නෑ. හැඟීම් දැනීම් පිරි‍හීම මරණයට කැපවීමේ ලක්ෂණයක්ද? හැඟීම් දැනීම් වල වූ මමත්වය නිසරු බව වැටහුණු කාලයක පූර්ණ තපස් දිවියකට එළඹීමට සිතුණු වාර ඇත.නමුත් තපස් දිවිය තුළ ස්ථාන ගතවන පදනම ශක්තිමත් නැතිනම් එය දෙදරා යා හැකි බවද සිත දනී. ජීවත්වන වාට වඩා මරණයට කැපවීම කාලකණ්නිය.තනිකම ශේෂ කරනුයේ ජීවමාන පොසිල පමණි.මේ හදිසියේම චමත්කා මගේ හිතට කඩා පැන්නාය.
“එයාට එපා වුණාට බොහොමයක් දෙනෙකුට ඔයාව ඕන බව ඔයා‍ට පෙන්නන්න පුලුවන්.තටුවලට නානාප්‍රකාර හැඩ ඇඳපු ඕනවට වඩා තදට පාටු ගාපු තටු හැඩට ට්‍රිම්කරපු රෑ සමනලියක් වෙන්න.එයාලා බොහොම සතුටින් නියෝන් ලයිට් යට පියාසලනවා.”
කවුරු කොහොම කිව්වත් වර්ණවත් හැඩ හැමදේම තුළ සතුට තියෙනවා කිව්වට හුළඟත් එක්ක මොනතරම් පොරබදින සරුංගලයක වුණත් ලස්සනින් සතුටුවෙන්නෙ සරුංගලය නම් නෙවෙයි.
“මහ පාර මැද තීරුවක දෙපැත්තට විහිදෙන්න ‍එක දිගට සවිකරපු නියෝන් එළි යට සමනලියෝ රොන් සොයද්දි දඩයක්කාරයෝ සමනලියන්ට කුරුමානම් අල්ලනවා.නියෝන් එළි යට සුපිරි සමනලිය ඔයා වුණොත් එයාට ඒක දරාගන්නත් අමාරු වෙයි පුදුමය වැඩිකමට.ඉන් පස්සේ එයා තේරුම් ගනීවි එයාගේ නිගමන අපාය සහාගත වංචාකාරී බොරු වගේම ඔයා තවදුරටත් මෝඩ පුංචි දුප්පත් කෙල්ල නෙවෙයි කියලා.එක එක හැඩ පින්සල් ගෙනත් ලෝකයාම තවමත් නොදැක්ක වර්ණ මතුවෙනකම් ඔයාගේ තටු පාට කරාවි හරිම ලස්සනට වෙල්වට් රෙද්දක මතුපිටක් වගේ ඔපදමා‍වි ප්‍රේමණීය උයනේ සැරිසරන්න ආයෙමත් අලුත් දවසක.
ආදරියේ
නොදෙමි ඉඩක් දුෂ්ට හිම පතුරුවලට
ප්‍රේමයේ දෑස් අන්ධ කෙරුමට
හිම දියවී ගොස් ප්‍රේමයේ වසන්තය පැමිණ ඇත. කියලා කවියකුත් කියාවි. ”

චමත්කා ...........නවත්තන්න.යන්න.මගෙන් ඈත්වෙලා ඉන්න.සමනල දඩයක්කාරයින්ට සමනලියන් දඩයම් කරන්න විවිධ ක්‍රම තියෙනවා.ඒවගේමයි එයාලා දඩයම භුක්ති විඳින ක්‍රමත් විවිධයි.ඔයා හිතන තරම් හුළග වුණත් සරුංගලයකට මිහිරි වුණා නම් සරුංගල් ඉරෙන්නෙවත් කූරි‍‍ඤ්ඤං ගහන්නෙවත් බිම වැටෙන්නෙවත් නැහැ.මේ නියුමෝනියාව පර්ශුවෙන් පර්ශුවට බලපෑම් කරනවා වුණාට තාමත් පාලනය තියෙන්නේ මගේ ළඟ.නමුත් බොහෝ විට නියුමෝනියාව ආධාරයෙන් ඇය ප්‍රබලවීමට පෙළඹේ.

“කොහොමත් ඔයා මියැදිලා හුගක් කල්.එයා ජීවය අරන් බොහොම ඉක්මණට ආපහු ආවොත් හොඳයි.මොකද  දැන් තත්වය බොහොම දරුණු අතට හැරිලා නිසා.සමහර විට රෑ සමනලියක් වුණොත් තටු ගහලා තටු ගහලා හෙම්බත් වෙලා වුණත් පිටමං වෙලා යන්න  කවුලුවක් හොයාගන්න පුලුවන්‍ වේවි.දඩයම් කාරයෝ වෙඩිතිබ්බට මැරෙන්නේ නැහැ.සමනලියෝ එයාලගේ උණ්ඩවලට අමරණීය වෙඩි බෙහෙත් ගඳ එකතු කරනවා විතරයි.”

මිනිස්සුන්ගේ හිත විශ්වයේ මන්දාකිණි චක්‍රාවාට දක්වාම විහිදෙනවා.මිනිස්භාවය සංස්කෘතියෙන් දහමෙන් රාමු කරලා හිත ශරීරයට ඒකාග්‍ර කරලා තියෙනවා.අහස ගිනිගනිද්දිත් බැහැගෙන යන ඉර දිහා බලාගෙන මං දිග හුස්මක් අරන් ඈතින් පේන නෞකා ගණන් කරන ගමන් වෙරළ අයිනේ රලු කලු ගලකට හේත්තු වුණා.වෙරළ තෙමලා ආපහු සයුරටම ඇදෙන රළ පහරට උඩින් කවදහරි මේ වෙරළට පියාඹලා ගිහින් නිදහස් වෙන්න පුලුවන් වුණොත් ඇත්තටම මට සතුටු හිතෙයි.වෙරළට අයිති තෙතමනය විතරක් වුණාට වෙරළ අයිනේ හැමෝම තියලා යන බර කොයිතරම් අපූරුවට දරාගෙන ඉන්නවද.මහාබර ප්‍රෙමයකින් මං වෙරළේ සමතලා වුණා.සුදු පෙන මාව යටකරගෙන ගිහින් එයාගේ ගමන ගියා.මගේ දෑස් රැඳිලා තිබුණෙ ආකාසේ.බොහොම සැහැල්ලුවෙන් ඉහළම ආකාසේ පාවෙලා යන හුරතල් වළාකුලු වගේම  පහල ආකාසේ ගාම්භීරව බුම්මා හිඳින වළාකුලු අතරින් දෑස් අයාලේ යමින් තිබුණා.උපහාසය ඔද වැඩී සමහර වළාකුලු එපිටට වරල් සලා සලා පාවෙලා ගියා.එතකොටම චමත්කාගේ අවබෝධයේ ප්‍රහර්ෂය නිල්පාට අහසේ  වර්ණය  හලුකරමින් තිබුණා.මං හිතේ නූල තදින් අල්ලගෙන ඉන්න උත්සාහ කලේ නැහැ.ගුරුත්වයක් නැති අභ්‍යවකාශය බොහොම සැහැල්ලුය.බැඳීමක් නැත.විභවයක් නැත.සමහරවිට ඈත අහසේ කඩා වැටෙන තරුවක් ලෙසට හෝ ඉලිප්සාකාර මාර්ගයක කා‍ලයේ ඇවෑමෙන් භ්‍රමණය වෙන ආකාශ වස්තුවක් ලෙසද ඔබට  මා විඳිය හැකි වනු ඇත.
හඳ නම් අදත් බුම්මාගෙන.පූර්ණ හඳ වගේම පූර්ණ හුගක් දේවල් නිහඬයි.චමත්කා කලු අහසට එහායින් මන්දාකිණි දක්වා විහිදෙන්නීය.සියලු වර්ණ කාල අහෝසි වී දැඩි ගුප්ත කදම්බයකින් ආකර්ශණය වී දිගින් දිගටම අඳුර කරා ඇදෙන්නීය.චමත්කා මේ නුඹේ උපරිම විඳීම සහ විඳවීම බව දනිමි.