Wednesday, December 14, 2011

කහපාට වළාකුලක නැත්තම් ධාරාණිපාත වැස්සක .......


ඔයා හිටියේ රෝසමලක් වගේ...සුරංගනාවියක් වගේ....මැජික් දණ්ඩක් අතේ තියෙන කම්මුල්වල රෝස  තවරපු නිල් අදුන් ගාපු සුදු සුරංගනාවියක්..ඔව් මැජික් දණ්ඩෙ කෙළවර තරුවක් තිබුණා....ඒ තරුවේ දිස්නෙ තාලෙට දැනුත් මගේ ඇස් නලියනවා......ඔයා වළාකුලක් වගේ ඇදුමක් ඇදගෙන මගේ දිහාට පාවෙලා ආවා..දෙතොල් වල රැදිලා තිබුණු හිනාව සිපගන්න මට තිබුණෙ ඉහෙන් බහින්නෙ නැති ආසාවක්....මං ඇඹරුණා...මිරිකුණා...හරිගියේ නෑ...කෑ ගැහුවා...කටින් එක වචනයක්වත් පිටවුණේ නැහැ ඒත් හකු වේදනාවෙන් දෙදරුවා..ඔයා ළග තිබුණ ඒ හිනාව මට ඕන වුණා සදහටම......කල්පයක් ගතවෙනකම් කොහොමටවත් ඉවසන්නෙ නැති මං දෑස් උස්සලා ඔයා දිහා බැලුවා....අපි නැවතුණා පින්න වැටෙන උස සයිප්‍රස් ගස් තිබුණ මාවතේ පාලම අද්දර....මගේ ආසාව පාවෙලා ඇවිත් ඔයාගේ පිටි අල්ලේ තැවරුණා....සීතලට.තෙතට...ඔයා දෑස්පියා ගත්තා....මැජික් පොල්ල විසිකරලා මගේ කරවටම අයිති කරගෙන උරහිසට වාරුවුණ මනුස්ස දුවක් වුණා..

හැමදේටම උපරිම වේගයක් තිබුණු මේ කාලේ මතකද අපි දෙන්නා ඉවසීමෙන් දෙපැත්තට වෙලා හිටියා.මං ඔයා දිහා බලාගෙන.ඔයා මං දිහා බලාගෙන...ඉව‍සීමේ විඳීම කොයිතරම් මිහිරිද...විදීම පුලුල් වෙන්න පුලුල් වෙන්න අපි ඈතට වුණා..ඒක කාලකණ්ණි කමකට හැරුණම එහෙම නැත්තං මට ඔයාව නොපෙනෙන්න පටන් ගත්තම ආයෙමත් ඔයාව හොයාගෙන දුවගෙන ආවා...ඔයාගේ වළාකුල් යහනාවේ හැමදාම මට ඉඩ තිබුණා....ඒක මගේ කියලා දැනගත්තම මං ඕනවෙලාවට ආවා ඕනවෙලාවට ගියා... පස්සේ පස්සේ ඔයා ඉතිං සමහර වෙලාවට මැජික් දණ්ඩ අතට ගත්තු දවස් එහෙන් මෙහෙන් හරි තිබුණා..


මං ඔයාට ආස කලා...ඒත් දැන් මගේ උරහිස බරවැඩියි...මොහොතක බර බලන්නවත් ඔයා ගුරුත්ව කේන්ද්‍රය ළග නවතින්නේ නැහැ....ඔයාගේ දඩබ්බර සුරංගනාවි මගේ ප්‍රේමයේ ගිලිලා මියගිහින්......තවදුරටත් ප්‍රේමයේ විභවය ඔයා ළග නැතුව ඇති....ඒ ප්‍රේමය ඔයාගෙන් අවකාශය උරාගත්තේ කවද්ද කියන්න මං දන්නේ නැහැ...ඒත් මට දැන් ප්‍රේමය නොදැනෙන්නේ ඔයා ළගත් නෙවෙයි ඈතින් පේන කදුමුදුනකින් පාවෙන කහපාට වළාකුලක නැත්තම් ධාරාණිපාත වැස්සක තෙමෙන ගැහැණියක් ළගත් නෙවෙයි.....




හැමතැනම....


Monday, December 5, 2011

ආයේ ආයෙමත් ප්‍රේමය හොයන්න...


ඔයා මං හිතපු කෙනා නෙවෙයි කියද්දිත්
පිස්සුවෙන් වගේ ආදරේ කරන්න


ඔයාට මාව ඕන වුණ වෙලාවට
ටිකක් ආඩම්බර වෙන්න

කෝ ඔයා තාම මහත් වුණේ නෑනේ කියද්දිත් හිනාවෙලා ආදරේ කරන්න.

තරහගිහින් කෑ ගැහුවත්  අහිංසක සුරංගනාවියක් වගේ ඉන්න හදන්න.

ඔයාගේ හිත රිදුනම ඔයාගේ හිත රිද්දපු අයට
ඔයා ඒ අයට බනින එක නවත්තනකම්
මං ඒ අයට බනින්න.

ඔයාගේ ගැබ්බර හිත මුදා හරින්න
සයුරක් වෙන්න අහසක් වෙන්න





මං ආසයි අයෙමත් වන්දනාවේ යන්න
වංකගිරියක මහා මේඝයක


ආයෙ ආයෙමත්

මට එපා. මට ඕන. හිතපු කෙනා නෙවෙයි. ඇතුලේ ආදරේ නැහැ. හැමදේම හොදට සිද්ධවෙයි. දාලා යන් නැහැ තියලා යන්නේ. ආදරේ කරේ මං මවාගෙන හිටි කෙනාට...කතා කලේ යාලුකමට..ඒක වැරදීමක්..මං දැනං හිටියේ නැහැ...ආදරේ කරන්න කියලා වෙන අයට කියන්නෙ නැහැ මේ තරම්....මෝඩයෙක් වගේ ඔයා දිහා බලාගෙන ඉන්නෙ....ඉමෝෂනල් වෙන්න එපා...හිනවෙලා ඉන්න...ඇයි ඔච්චර හිනාවෙන්නෙ..ඇයි ඔච්චර ද...නපුරු....මතක් වෙන් නැහැ නේද....

කියන දාහක් දේවල් ඇතුලේ ඔයාගේ ප්‍රේමය හොයන්න.....




රස්තියාදුවෙ යන්න


මං ආසයි ඔයත් එක්ක රස්තියාදුවේ යන්න..කෙළවරක් නැති ඇති කොළපාට කලුපාට වීදිවල රෙබරෝසියා මැයිමාර ඇහැල ඇකේෂියා මල් උඩින් පැන පැන ඔයාගේ ඇගේ හැප්පි හැප්පි ඉර ඇහැරෙන්න කලියෙනුත් ඉර බැහැගෙන යන අඩ අදුරෙත් රස්තියාදුවෙ යන්න මට ඕන..............  මුහුදු හුළග මං ගණන් ගන්නෑ ඒ ඔයාගේ ආදරෙන් මං සැලිලා නිසා.....පින්නට බැහැ මාව තෙමන්න ඒ ඔයාගේ ආදරෙන් මං කලින්ම පෙිලා නිසා......මං ආසයි මගේ රිදෙන කකුල් දිහා ඔයා ආදරෙන් බලද්දි ඒක දැක්කෙ නැහැ වගේ යන්න.... මං ආසයි ඔයාගේ-තව ටික දුරයි- කියන බොරුවත් එක්ක දැන දැනම හුග දුරක් යන්න......කකුල් හිරිවැටෙනකම්.......

මගේ එක්ක යන ඔයා බලන ලස්සන කෙල්ලන්ට ඉරිසියා කර කර ඔයා දිහා බලන කෙල්ලන්නට ඔයා මගේ කියලා නිකට උස්සන් ආඩම්බර කමෙන් යන්න....හොදම රස්තියාදු කාර පාට මට නැතිවෙන්න පුලුවන්...හොදම රස්තියාදු ඇදුම් මගේ නොවෙන්න පුලුවන්...හැබැයි මගේ හොම රස්තියාදුකාරයා නම් ඔයා වෙන්න පුලුවන්.........
ඔයා ලස්සන දිග නියපොතුවැල් තියෙන රූස්ස නුග ගහක් යට මගේ ප්‍රේමය හොයද්දි... මේ හටත් කලුවරටත් හුළටත් ඔයාගේ ප්‍රේමය ගැන ඊරිසියා හිතෙන විදිහට ආයේ ආයෙමත් නිකට දික් කරගෙන ඉන්න.... රස්තියාදුවේ ගිහින් ඇවිත් ඇගට වැටෙන්න පොරකන වතුර බිංදු වලට කලින් ඔයා ප්‍රේමය මත්තේ පතිත වෙනතරම්....රස්තියාදුවේ යන්න..........
මං ආසයි ආයෙ ආයෙත් රස්තියාදුවේ යන්න....