Saturday, January 12, 2013

දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 1

තරු එකින් එක කඩාගෙන වැටෙද්දි ආසාවෙන් බලාගෙන හිටියා..ඒ තරු වේදනාවෙන් පිච්චිලා ගෙනෙන වර්ණ පෙනුණෙ අපූර්ව දෙයක් වගේ.....

ආදරය... 

නොලැබෙන තැන්වලම ආදරය හෙව්වේ ඇයිද මන්දා....

නංගී....මෙන්න අසුන් කතා කරනවා.
එයාට නිවාඩුවක් පාඩුවක් ලැබුණම කෝල් කරනවා..සමහර දවස්වලට වැඩ නිසා අමතක කියලත් කියනවා..සමහර දවස්වලට කතා කරන්න උවමනාවක් ආවේ නැහැ කියලත් කියනවා...මට ආදරෙයි කියලත් කියනවා... එක වෙලාවකදි එක්කෙනෙකුට විතරක් නෙවෙයි ආදරේ කරන්න පුලුවන් කියලත් කියනවා..හුගක් දේවල් කියනවා...


මේ පත්තු වෙන්නේ පපුවේ ගින්දර.....අකුරු මත දුවන්නේ පපුවේ ගින්දර....
 අපේ අක්කා නම් කියන්නේ..ආදරේ විකාරයක් කියලා... ආදරේට වෛර කරන් සෙක්ස් කරන් ඉන්න කොට ශරීරය ජීවත් කරවන්න පහසුලු ....ඒ කියන්නේ ආදරේ කියන හැගීම්බර මායාව අහක දැම්මම.....



ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....

ආදරය නොලැබෙන නිසාද...




Wednesday, January 2, 2013

නෙවෙයි!!!

අපි ඇත්තටම ආදරේ කරනවා නම් මොන කරදරේ ආවත් අපි දුවන්නේ ඒ ආදරය හොයාගෙන.... ඒ ආදරේ කරන කෙනා ළගට... ඒ ආදරේ ඇතුලේ ගුලිවෙන්න... සියක් දහස් වේදනාවන් මුදාහරින්න....ඒ වගේම ඒ ආදරේ කරන කෙනා ළග ගෙනෙන කරදරය දරාගන්න තරම් විභවයක් තියෙන්න වෙනවා... මේ කාලේ ඒ විභවය හුගක් සාධක මත තීරණය වෙනවා.. එයාගේ දක්ෂතාවයන්. දැනුම..එයා සතු ධනය.. සමාජ පසුබිම වගේ දේවල්... මේවා නැති අය මේ කාලේ පැරදුණු මිනිස්සු වෙලා...මේවා නැති අයට ආදරේ කර කර ඉන්නවට වඩා අඩ අඩ ඉන්න සිද්ධ වෙලා තියෙනවා.... අතරින් පතර වාසනාවන්තයෝ ඉන්නත් පුලුවන්....වෙනස් විදියට හිතන මිනිස්සු.

ඒ වුණාට භයානකම දේ තමයි.. අපිට ආදරේ හමුවුණා කියලා හිතලා අපි අපේම මායාවක දැවටෙන එක... මායාවෙන් ටික ටික අවදි වෙන කොට අපි අඩන්න පටන් අරන්... වැඩ අතපසු කරන්න පටන් අරන්....පටන් ගැනුමෙදි අපේම ආදරයක් හදාගෙන අපි ඒකට පොහොර දානවා... ඒත් දෙන ආදරේට ආපස්සට නොලැබෙන කොට අපේ ආදරේ අපිවම ප්‍රශ්න කරන්න ගන්නවා.....


ඇත්තම ආදරේ මුණගැහුණම මීදුමක් වගේ පැතිරෙන්න හිතෙනවා..... හුළගක් වගේ දගලන්න හිතෙනවා.... සමහර වෙලාවට මේ වගෙත් නෙවෙයි ඒක මොනවගේද කියලා කියන්නත් අමාරුයි..දැනිලා තියෙන අය දන්නවා ඇති..


ඔයාව නපුරු මොහොතක් ඇවිත් මගෙන් ඈත් කරන කම් ඔයා ගැනත් මට එහෙම දැනිලා තිබුණා... මම ඒක එහෙම විදිමින් හිටියා...... 



අපි හිතනවා නැතිවුණු හැමදෙයක්ම සදහටම අපේ වෙලා තියෙන්න ඉඩ තිබුණා කියලා.




Loving someoneis like caring for a garden, love it too much 


or too little and it dies

Wednesday, December 19, 2012

පෙර පාසල.................



සිලි සිලියේ හිනැහි හිනැහි
දැවටුණු මගේ පොඩි එකීගේ
සමනල් හිත ගැටගහලා
පාට පාට රූප ඇදපු
බිත්ති අතර තනි කරලා
දුක් විදින්න ඉඩ ඇරලා
මං ආවා 
මහ වැස්සේ තෙමීගෙනම 
පාර පුරාම අහුරලා හිටි 
මීදුමටම තුරුළුවෙවී
කකියන හිත පොළවේ වැදී
බිංදු බිංදු 
විසිරෙන්නට හැර.......

විසල්.....

විසල් දෑගිලි අතර

සිහින් ඇගිලි තෙරපී තෙරපී

ඉසිඹුවක් මතින් තවත් ඉසිඹුවක

සුවදින් සුවද විදිනා

ආදරයේ හෝරා ගෙවුනා....




Thursday, November 15, 2012

ඔල්මාදය...


ඔයා විසින් අන්තර්ජාල පිටුවේ සිංදුවක් අමුණලා තිබුණා.හැමදේම හරියාවි කියලා.

අපි කොයිතරම් ඈතයිද..ළං වෙන්න හිතන්න බැරිතරම් ඈතයි...මං අඬන්න ඕනද? ඉකි ගගහා අඬන්න ඕනද...



මේ අහන්න අර හඳ ලස්සනට පායනවා.මාසයක් පුරා එයාගේ පාඩුවේ හැඩවෙනවා...කී දාහක් එයාලව නිකමටවත් ගණන් ගන්නේ නැතිව ලස්සනට පායන හඳට කොයිතරම් ආදරේද? එයාලගේ කවි වලට සිංදු වලට ඒ හඳ කොයිතරම් ප්‍රතිචාර නොදක්වා හිටියත් ඒකෙන් එයාලට කොයිතරම් රිදුනත් ඒ හඳට තව තවත් ආදරෙන් ලියනවා... ඒ හ‍‍දේ දීප්තියට වශී වෙලාද?


ඔයත් හඳක් වගේ නිහඬවම ඉන්න.


මොනාලිසා වුණත් කතා කරන්න පටන් ගත්තා නම් මිනිස්සු එයාට ආදරය කරන එක නතර කරනවා.මනුෂ්‍ය  ස්වභාවය ඒ නිහඬ බවට දීලා තියෙන්නේ ආකර්ශණ නියමය ඉහළින්ම ක්‍රියාත්මක වන බලයක්...

අනේ මන්දා..මං බලාගෙන ඉද්දි මට ඔයාව එපා වෙන්න ගන්නවා...ඔයා හිනාවෙද්දි මට අහක බලන්න හිතෙනවා.මං අහක බලනවා ඔයා දකිනවා.


"මං හිනාවෙන්න එපා ද? ඔයා ආස මං හිනා නොවී ඉන්නවට නම් මං කවදාවත් හිනා වෙන් නෑ."


ඔයා ඇහුවට ඒක ඇහුණ බවක් වත් මං ඇඟෙව්වේ නැහැ.මගේ ආඩම්බර කම ඇතුලේ ඔයා දියවෙනවා...අවකාශයේදී මට ඔයාව හොයාගන්න බැරිව යනවා.


"මං කවුද?" ඔයාගෙන්ම අහනවා.

"ඔයාට මං කවුද?" ඔයා මගෙන් අහනවා.

උත්තරයක් නෑ.තැවෙන ඔයා දකිද්දි මට මැරෙන්න හිතෙනවා...එත් මරණය.අපට මැරෙන්න පුළුවන්ද? මගේ සංස්කෘතික ආගමික ඔළුව මාව නවත්තනවා.අම්මා තාත්තා ගැන හිතනවා.පව් සිද්ධ වෙයි කියලා හිතෙනවා.ස්වාධින වෙන්න උත්සහ කරාට කරන්න පුළුවන් වෙලාද? ඒ වෙනුවට වෙලා තියෙන්නේ මිශ්‍රණයක් හැදිලා තියෙන එක විතරයි...


මගෙන් අතරමං වෙන ඔයා ඔල්මාදකාරයෙක් වෙනවා...මම මුල ඉදලා මාව හොයන්න පටන් ගන්නවා...ආයෙමත් මුල ඉඳ‍ලම වෙන තැනකින් පටන් ගන්නවා... 

1. හිතේ තියාගෙන ඉන්නවා.නැගිටිනවා.කනවා.බොනවා.
2.කතා කරන කම් බලාගෙන ඉන්නවා.
3.කතා කරනවා.
4.ආයෙමත් අතරමං කරනවා.
5.මුල ඉදන් හොයනවා.