ඝන කළුවරේ ඉකිබිඳී අහස
Wednesday, March 15, 2023
Wednesday, February 9, 2022
හිස් තැනකට පෙම් බැඳ
ආනන්ද... ආනන්ද... සර්පයා දුටුවා ද
ආනන්ද.. ආනන්ද
අද්භුත මිනසෙකු මා දෙස බලාගෙන එසේ අසද්දී මා වික්ෂිප්ත වීමි.මා ආනන්ද නොවේ. මේ මිනිසා එය නොදන්නේද?
ආනන්ද..... ආ..නන්ද කෙමෙන් ආමන්ත්‍රණය ප්‍රබල වීමත් සමඟ මා තිගැස්සී අවදි වීමි.
වටපිට බැලූ මට වෙලක නියරක සේයාවකදු නොවීය. තට්ටු 14ක් උසැති මේ ගෙබිම කොයින්ද වෙලක්... සිහින් සිනහවත් සමඟ කුස තුලින් දැනුනු හීන් පා තෙරපුමින් ලද වේදනාවෙන් මම සිටගතිමි.
ඉබේම විසල් ජනේල කෙලවරට පැමිණි මට ළඟ ළඟ දළුලා ඇති ඈතින් පෙනෙන ගොඩනැඟිලි ද ඒ අතරින් කුහුඹුවන් මෙන් ගමන් කරනා වාහන ද පෙනෙයි. ඊටත් එහායින් මීදුමක් වැනි මුහුදද පෙනෙයි.
හීන් සීරුවේ වැරන්ඩාවේ දොර විවර කොට සඳළුතලයට පිවිසියෙමි. එළිමහනේ උණුසුම ගතට සනීපයක් ගෙන දෙන්නට විය.දිගු සයන කවිච්චියේ ඇලවෙමින් දෙව්ලොව සිට ගෙන්දගම් පොලෝතලය දෙස බැලීමි. සැබවින්ම මා සිටින්නේ දිව්‍ය ලෝකයේ වෙමි. මා හට දෙව්හිමියන් සේ ස්වාමිපුරුෂයෙක් ලැබී ඇත.
මා අදටත් හුස්ම ගනුයේ මාගේ දෙමව්පියන්ටත් සහෝදරියටත් සහෝදරයටත් සමහර යාලුවන්ටත ස්වාමියාටත් පින් සිදුවන්නටය..
බැසයන හිරු මළානික රත් පැහැයෙන් දිදුලමින් ලෙලදෙන්නට විය. බෙල් හඞත් සමඟ විවෘත වන දොරින් ඔහු පැමිණ ඇති බව මා දැනගතිමි තව මොහොතකින් මා අසලට පැමිණ නළලත ද සිප කුස ද සිප අතගා සැනසීම දෙනු ඇත.
මා සෙමින් දෑස පියා ගතිමි.
--------------------------------
Thursday, February 3, 2022
දේදුන්නක්ද මං.....
ඔයා හිතන්න ඇති මම බලපෑම් කරලා මට ඕන දේ කරගත්තා කියලා.ඊයේ ඔයා ඇවිත් ගියාට පස්සේ ඔයා මට කතා කල විලාසයෙන් මට ඒක තේරුම් ගියා.
ඔයා කරපු කියපු දේවල් වලින් මට තේරුනේ මං ඔයාගේ කරේ එල්ලෙන්න බලාගෙන ඉන්න කෙනෙක් වගේ මට සලකනවා කියලා.ඒක ඔයා දැනුවත්ව කරන දෙයක් නොවෙන්න ඇති.ඒත් ඒක ඔයා නොදන්න ඔයාගේ ඇතුලේ තියෙන දේ... ඒක මට දැනුනම මට හුගක් බය හිතුණා.
මේ කලුවර වෙන වට පිටාවත් එක්ක කොහේ හරි මේ හිත විසික් කරලා මට නිදහස් වෙන්න පුලුවන්නම්..
මං ඔයාට ආදරය කරනවා.මට ඒක මේ වචන ටිකින් කියලා ඉවර කරන්න බෑ... මේ වචන තුන ඔයා ඕන තරම් අහලා ඇති.ඒත් මේ වචන තුන ඇතුලේ මං කියන්නේ මට හැමදාම ඔයත් එක්ක නිදාගන්න ඕන.හැමදාම මට ඔයාගේ ජීවිතේට හයියක් වෙන්න ඕන.ඔයා ළග හුරතල් වෙන්න ඕන.ඔයා ළග මහන්සි අරින්න ඕන.ඔයාගේ ළමයි හදන්න ඕන කියන තේරුම් වලින්... මං වැරදිද.. කියන්න මං වැරදිද.........
මං ආසයි ඔයාගේ දෑතින් මාව බදන උණුහුමේ ගුලිවෙන්න...ඇටකටු කැඩෙන කිටි කිටියේ ඔයාගේ තුරුලේ ඇහිරෙන්න.
මට ආදරේ දෙනවද ?
ඔයා මට ආදරේ දෙනවද ඒ තරම්....
පිරිමියෙක්ට ගෑණියෙකුට ආදරේ දෙන්න බැරිද ඒ තරම්...
බැදපු මිනිහෙකුට ආදරේ කරන්න ගෑනියෙකුට කොයිතරම් හයියක් ඕනෙද කියලා ඔයා දන්නවද රත්තරං.
Tuesday, July 4, 2017
Parana ewa 1
සසලව නිසලව ගලාගිය
සමුදෙන්න තව දුරයි
ජීවිතය තිබුණා ඇත්තමයි!
මලින් මල සරසවන
මම උයන
මලින් මල සනසවා පිරිමදින
නුඹ පවන
අබිනික්මනද මේ සෙමි සෙමින්
වෙහෙසයි!
Monday, February 1, 2016
ජීවිතයට වචන මදි
බොහෝ දේ බොහෝ අය
ලියා තිබුණි
මග හැරුණු ජීවිතය
මග හැරුණු ලිවීම
අතරතුර ගෙවී යයි
ඒ ජීවිතයම
ලියා ගත නොහුණු
කියා ගත නොහුණු
අත්දැකීම් වපුරා ගෙවෙයි
ඒ ජීවිතය
දවසක ලියමි
නිදහසේ වැලලී හෝ........
මා දුටු සියල්ල
මා ඇසූ සියල්ල..........අහෝ....
Monday, September 9, 2013
The love once I had-----------------
All these moments I look away and turn my head to the busy roads reminding my self that I have to go ahead...................................................
----The love once I had.
http://www.youtube.com/watch?v=GzzN7vF0u7s&list=FLDUTwIygkhXODvnTx9dRpCg
Friday, June 7, 2013
Monday, April 8, 2013
බිදුවක් තුරුලට ගනු මැන....
[ මගේ පපු කුහරය ඇතුලෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස්බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුහුමින් පමණයි... - ලෙටර් ටු ඩී- ප්‍රේමය පසසනු වස් ]
Saturday, March 23, 2013
කවියෙකුගේ නවාතැන...
කලකට පෙර සුදු වෙන්නැති
කහපාටැති බිත්ති පුරා
වියලි ගිය කොළ කැබිලිති
දරන් හිටියා
ඔහුගේ හදවත
කලු අකුරෙන් පේලි පේලි.....
මං එබුනම
උලුවස්සෙන්
කවි සේරම
එකම සැණින්
ඇහුවා මුරපදය මගෙන්
කවුදෑ මේ අලුත් එකී.....
උඩ යට බැලුවාම මමත්
එල්ලීගෙන ඔහුගේ අතේ
දැනුණා ඒ සුවද මටත්
මං අකමැති
ඒත් කැමති....
කට ගත්ත සැණින් කිව්වා මං
දුම්රොටු...
කවි සේරම හිනාවෙලා
ආයුවඩා
බිත්තිවලම නිදිගත්තා...
ඔහු නිදනා ඇසිල්ලකදි
ඇහැරෙව්වා මං
එක කවියක්
අහ ගන්නට
මුර පදේ කතාවත්...
ඔහු සිඹිනා සිගරට්ටුව
ඉගෙන ගෙනලු
මගේ රූපය
ඔහුගේ මතකයෙන්....
දැවී නැගෙන දුම්රොටු
ඇදී ඇදී ගොසින් අඳිමින්
මතකේ සිටින මගේ රූපේ
කවි හැමඑක්කටමත්
පෙන්නා තිබුණා....
ඔහුට දුන්නු හාදුවලින්
බාගෙකටත් වැඩියෙන්
කවිසේරටමත් දීලා
මං ආපහු ආවා....
Friday, March 22, 2013
Wednesday, February 27, 2013
Friday, February 22, 2013
දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 2
හිත පිරෙන්න ආදරේ කරන්න අසුන්... එක හිතකින්... එක තැනක නැවතිලා...හිත රිද්දන්න නෙවෙයි...හිත සැනසෙන්න ආදරේ කරන්න...
ගැහැණියෙක්ගේ පරාසය පුලුල්..පිරිමියෙක්ට ඒ පරාසයේ කිමිදෙන්න අමාරුයි කියලා ඔයාම නේද කිව්වේ....
එහෙම කියලා ඒ පරාසය පුරවන්න ටිකක්වත් උත්සහයක් ගන්නේ නැහැ නේද ඔයා...
ගැහැණු පැතිරෙනවා... ගැහැණු වෙනස්වෙනවා.. හුළග වගේ හැමතැනම පීරනවා... මල් වගේ හැමවෙලේම සැලෙනවා... එත් ඒ හැම දෙයක්ම අහස පොළව වගේ ගැඹුරකින් ඉවසන්න ඔයාට අහසක් පොළවක් මහ සයුරක් වෙන්න බැරිද අසුන් ?
මම ඔයාව දන්නේ නැහැ..ඒ නිසා ප්‍රශ්න අහනවා..ඉතිං ඔයාට ඒ ප්‍රශ්න වලට කෙන්ති යන්නේ ඇයි... මාව පරවුණු මලක් වගේ කඩලා විසී කරන්නේ ඇයි...
ඔයාටත් දුක හිතෙනවා ඇති..ඉතිං ඇයි ඇස් අග මතුවෙන කදුලක් ඇගිල්ලෙන් පිහදානවා වගේ මාව අයින් කරන්නේ... ඇයි ඒ කදුලට ඔයාගේ කොපුල් දිගේ වේලෙන්න ඇරලා හැමදේම විසදන්න බැරි...
ආදරේ කියන්නේ සංකල්පයක් කියන එකට මං විරුද්ධයි.. ආදරේ කියන්නේ කරන්න ඕන දෙයක් අසුන්...
Tuesday, February 12, 2013
තුරු...
පෙම් අතුවල නටුව අගින්
අවකාශය පීරා ගොස්
තිරස් පිටක ආගන්තුක
වැව් ඉවරක
ඇතිරී වැටී
සුසුම් පොදක සලිත වෙවී....
දුක දකිනා තුරුපත් කුපිතව සිලි සිලි ගා
නටු හා ගැටෙමින්...
කම්පිත නටුව ද කහ වී
ටික දිනකින් මල මල මතටම
ගිලිහී ගොස්....
තුරු පාමුල
සමරයි අවසානය මියැදිදී...
එකග නැතිව තුරු හා පත්
යහලු මලට නට්ට ගැනම
තුරු හා උද්ඝෝෂණයෙ යෙදී
කාලෙකදී වියලා ගොස්
ඒ තුරු පාමුලටම
වැටි වියැකී....
දුර්වල නෑ තුරු එහෙමයි
තම කාලය අකුරටමයි
තව තව මල් නටු හා පත්
සමගින් කාලය හා ගමනේ යෙදී...
Thursday, January 24, 2013
යශෝධරා...
සිද්ධාර්ථ යන්න ගියා
යශෝධරා
ආයෙත් එන්න ගියත්
ඒ සිද්ධාර්ථ නෙවේ!
නිල් දෑස් අගින් කදුලු වැටුණෙ
නුඹෙ විතරක් නෙවේ!
බුදු නොවෙන සිද්ධාර්ථලා
යන්න යනවා
හැමදාම...
හිරිවැටිලා කොයිතරම් කාලයක්
උන්නද යශෝධරා?
හිරිවැටිලා කොයිතරම් කාලයක්
අපි ඉන්නද යශෝධරා?
විසල් මාළිගාව පුරා
මතක අරන්
කොයිතරම් ඔහේ ඇවිද්දද
යශෝධරා...
පියා විදා පියාඹන්න
තටු තිබුනට
ඔහේ ඇරෙන්න
සිද්ධාර්ථ කරා පියාඹන්න
අපට බෑ නේද යශෝධරා....
Saturday, January 12, 2013
දේදුනු යට වැහිබිංදු අමතකයි..... සිපගන්න 1
නංගී....මෙන්න අසුන් කතා කරනවා.එයාට නිවාඩුවක් පාඩුවක් ලැබුණම කෝල් කරනවා..සමහර දවස්වලට වැඩ නිසා අමතක කියලත් කියනවා..සමහර දවස්වලට කතා කරන්න උවමනාවක් ආවේ නැහැ කියලත් කියනවා...මට ආදරෙයි කියලත් කියනවා... එක වෙලාවකදි එක්කෙනෙකුට විතරක් නෙවෙයි ආදරේ කරන්න පුලුවන් කියලත් කියනවා..හුගක් දේවල් කියනවා...
මේ පත්තු වෙන්නේ පපුවේ ගින්දර.....අකුරු මත දුවන්නේ පපුවේ ගින්දර....අපේ අක්කා නම් කියන්නේ..ආදරේ විකාරයක් කියලා... ආදරේට වෛර කරන් සෙක්ස් කරන් ඉන්න කොට ශරීරය ජීවත් කරවන්න පහසුලු ....ඒ කියන්නේ ආදරේ කියන හැගීම්බර මායාව අහක දැම්මම.....
ජීවත් වෙන්න අපහසු ආදරය නිසාමද.....
ආදරය නොලැබෙන නිසාද...
Wednesday, January 2, 2013
නෙවෙයි!!!
ඒ වුණාට භයානකම දේ තමයි.. අපිට ආදරේ හමුවුණා කියලා හිතලා අපි අපේම මායාවක දැවටෙන එක... මායාවෙන් ටික ටික අවදි වෙන කොට අපි අඩන්න පටන් අරන්... වැඩ අතපසු කරන්න පටන් අරන්....පටන් ගැනුමෙදි අපේම ආදරයක් හදාගෙන අපි ඒකට පොහොර දානවා... ඒත් දෙන ආදරේට ආපස්සට නොලැබෙන කොට අපේ ආදරේ අපිවම ප්‍රශ්න කරන්න ගන්නවා.....
ඇත්තම ආදරේ මුණගැහුණම මීදුමක් වගේ පැතිරෙන්න හිතෙනවා..... හුළගක් වගේ දගලන්න හිතෙනවා.... සමහර වෙලාවට මේ වගෙත් නෙවෙයි ඒක මොනවගේද කියලා කියන්නත් අමාරුයි..දැනිලා තියෙන අය දන්නවා ඇති..
ඔයාව නපුරු මොහොතක් ඇවිත් මගෙන් ඈත් කරන කම් ඔයා ගැනත් මට එහෙම දැනිලා තිබුණා... මම ඒක එහෙම විදිමින් හිටියා......
අපි හිතනවා නැතිවුණු හැමදෙයක්ම සදහටම අපේ වෙලා තියෙන්න ඉඩ තිබුණා කියලා.
Loving someoneis like caring for a garden, love it too much
or too little and it dies
Wednesday, December 19, 2012
පෙර පාසල.................
සිලි සිලියේ හිනැහි හිනැහි
දැවටුණු මගේ පොඩි එකීගේ
සමනල් හිත ගැටගහලා
පාට පාට රූප ඇදපු
බිත්ති අතර තනි කරලා
දුක් විදින්න ඉඩ ඇරලා
මං ආවා
මහ වැස්සේ තෙමීගෙනම
පාර පුරාම අහුරලා හිටි
මීදුමටම තුරුළුවෙවී
කකියන හිත පොළවේ වැදී
බිංදු බිංදු
විසිරෙන්නට හැර.......
Thursday, November 15, 2012
ඔල්මාදය...
ඔයා විසින් අන්තර්ජාල පිටුවේ සිංදුවක් අමුණලා තිබුණා.හැමදේම හරියාවි කියලා.
අපි කොයිතරම් ඈතයිද..ළං වෙන්න හිතන්න බැරිතරම් ඈතයි...මං අඬන්න ඕනද? ඉකි ගගහා අඬන්න ඕනද...
මේ අහන්න අර හඳ ලස්සනට පායනවා.මාසයක් පුරා එයාගේ පාඩුවේ හැඩවෙනවා...කී දාහක් එයාලව නිකමටවත් ගණන් ගන්නේ නැතිව ලස්සනට පායන හඳට කොයිතරම් ආදරේද? එයාලගේ කවි වලට සිංදු වලට ඒ හඳ කොයිතරම් ප්‍රතිචාර නොදක්වා හිටියත් ඒකෙන් එයාලට කොයිතරම් රිදුනත් ඒ හඳට තව තවත් ආදරෙන් ලියනවා... ඒ හදේ දීප්තියට වශී වෙලාද?
ඔයත් හඳක් වගේ නිහඬවම ඉන්න.
මොනාලිසා වුණත් කතා කරන්න පටන් ගත්තා නම් මිනිස්සු එයාට ආදරය කරන එක නතර කරනවා.මනුෂ්‍ය ස්වභාවය ඒ නිහඬ බවට දීලා තියෙන්නේ ආකර්ශණ නියමය ඉහළින්ම ක්‍රියාත්මක වන බලයක්...
අනේ මන්දා..මං බලාගෙන ඉද්දි මට ඔයාව එපා වෙන්න ගන්නවා...ඔයා හිනාවෙද්දි මට අහක බලන්න හිතෙනවා.මං අහක බලනවා ඔයා දකිනවා.
"මං හිනාවෙන්න එපා ද? ඔයා ආස මං හිනා නොවී ඉන්නවට නම් මං කවදාවත් හිනා වෙන් නෑ."
ඔයා ඇහුවට ඒක ඇහුණ බවක් වත් මං ඇඟෙව්වේ නැහැ.මගේ ආඩම්බර කම ඇතුලේ ඔයා දියවෙනවා...අවකාශයේදී මට ඔයාව හොයාගන්න බැරිව යනවා.
"මං කවුද?" ඔයාගෙන්ම අහනවා.
"ඔයාට මං කවුද?" ඔයා මගෙන් අහනවා.
උත්තරයක් නෑ.තැවෙන ඔයා දකිද්දි මට මැරෙන්න හිතෙනවා...එත් මරණය.අපට මැරෙන්න පුළුවන්ද? මගේ සංස්කෘතික ආගමික ඔළුව මාව නවත්තනවා.අම්මා තාත්තා ගැන හිතනවා.පව් සිද්ධ වෙයි කියලා හිතෙනවා.ස්වාධින වෙන්න උත්සහ කරාට කරන්න පුළුවන් වෙලාද? ඒ වෙනුවට වෙලා තියෙන්නේ මිශ්‍රණයක් හැදිලා තියෙන එක විතරයි...
මගෙන් අතරමං වෙන ඔයා ඔල්මාදකාරයෙක් වෙනවා...මම මුල ඉදලා මාව හොයන්න පටන් ගන්නවා...ආයෙමත් මුල ඉඳලම වෙන තැනකින් පටන් ගන්නවා...
1. හිතේ තියාගෙන ඉන්නවා.නැගිටිනවා.කනවා.බොනවා.
2.කතා කරන කම් බලාගෙන ඉන්නවා.
3.කතා කරනවා.
4.ආයෙමත් අතරමං කරනවා.
5.මුල ඉදන් හොයනවා.







+(1).jpg)




